welcome

ආයුබෝවන්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉබ්බාගමුව

අපගේ දැක්ම

"සඵලදායී රාජ්‍ය සේවයක් තුළින් විශිෂ්ටත්වය කරා"

අපගේ මෙහෙවර

"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම,

සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත්

කාර්යක්ෂම, තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින්

ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම"

හැදින්වීම :-

කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල මැතිවරණ බල ප්‍රදේශයට අයත් ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 207.55ක් වන අතර අභ්‍යන්තර පරිපාලනයේ පහසුව සඳහා ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරී වසම් 74 කට බෙදා වෙන් කර ඇත.ගම්මාන203 කින් සමන්විත ඉබ්බාගමුව කොට්ඨාශය භූ   විෂමතා ලක්ෂණ රාශියකින් සමන්විත සරුසාර ප්‍රදේශයකි.

රජ දවස රජුට ගෙනගිය පැණි වරකා ගෙඩියක් අතරමඟ තබා ඇති අතර එම වරකා ගෙඩිය “තිබ්බ ගම” යන අර්ථයෙන් පසුව “තිබ්බාගම”  බවට පත්ව පසු කලෙක  ව්‍යවහාරයේ පහසුව පිණිස “ඉබ්බාගමුව” බවට පත්වු බවට ‍‍ ‍‍ඓතිහාසික තොරතුරු වලින් වාර්තා වේ.

ඉබ්බාගමුව  ,කුරුණෑගල , දඹුල්ල  ප්‍රධාන මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දෙසට කිලෝ මීටර 13 ක් පමණ දුර ගමන් කළ විට හමුවන පාන්ගොල්ල මංසන්දියට මීටර් 200ක් දකුණු පසින් වැටී ඇති ටැංගොලන්දවත්ත මාර්ගය වශයෙන් හඳුන්වන අතුරු මාර්ගයට යාබදව එහි වම් පසින් පළමුව ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව හමුවන අතර ඊට යාබද අක්කර 2ක් පමණ වන භූමි භාගයේ ඉබ්බාගමුව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටුවා ඇත.

දිශානුගත මායිම් :-

උතුරට          : පොල්පිතිගම හා ගලේවෙල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 

නැගෙනහිරට : මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

දකුණට         : මාවතගම හා මල්ලවපිටිය  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 

බස්නාහිරට    : දැදුරුඔය මායිම හා ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

මෙම සිතියම බාගත කර ගැනීම සදහා මෙහි ක්ලික් කරන්න

කුරුණෑගල  නාලන්ද  1 : 63360 පරිමාණ සිතියම  තුල උතුරු දකුණු අංශක 160 –170  හා  නැගෙනහිර බටහිර  අංශක 260 - 270  අතර පිහිටා ඇත. දකුණු මායිමෙන් ගලායන දැදුරු ඔයත් වයඹ දිශානුගතව ගලායන කිඹුල්වානා ඔය   දකුණු මායිමේ බතලගොඩ වැව ද වේ.

පහත පරිදි ප්‍රධාන බෑවුම් කලාප 05 කි.

බෑවුම   0%  –  8%     ඒ   කලාපය හෙක්ටයාර      17,763

බෑවුම 08% –  16%    බී   කලාපය හෙක්ටයාර        1,795

බෑවුම 16% – 30%     සී   කලාපය හෙක්ටයාර        1,052

බෑවුම 30% – 60%     ඩී   කලාපය හෙක්ටයාර        1,940

බෑවුම 60% – 70%     ඊ    කලාපය හෙක්ටයාර          626

පස හා ජලය :-

පස:- ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙනුයේ කහ පැහැති දුඹුරු පසකි. එහෙත් මැල්සිරිපුර  හාඊට යාබද ප්‍රදේශවල රතු පැහැති දුඹුරු පසක් දක්නට ලැබේ.  මෙම පස හා මිශ්‍රව  කළු  ගල් නිධි  හා මැටි දක්නට  ලැබේ.  මෙම මැටි ගඩොල්, වළං හා උළු කර්මාන්ත සඳහා යොදාගත හැකිය. මෙයට අමතරව මිනිරන් හා මයිකා නිධි රාගෙදර හා තල්ගොඩපිටිය  ප්‍රදේශ පුරා විසිරී ඇත.

ජලය:- වී වගාව ප්‍රධාන අනෙකුත්  කෘෂිකාර්මික කටයුතු වලට ජලය සපයන මහා වාරි කර්මාන්තයන් වන     බතලගොඩ  වැව  හා එයට ජලය  සපයන දැදුරු  ඔයත්,  කිඹුල්වාන ජලාශය හා  එයට  ජලය  සැප‍යෙන  කිඹුල්වානා ඔයත්, කොට්ඨාසයේ ප්‍රධාන ජල සැපයුම් ප්‍රභවයන් වන අතර මධ්‍ය පරිමාණ වාරි කර්මාන්තයක් වන මැද්දෙකැටිය වැව හා සුළු වාරි සැපයුම් ඒකක ලෙස හදුන්වන කුඩා වැව් අමුණු 254ක්, කෘෂි ළිං 141ක් හා ස්වාභාවික ජල උල්පත් 07ක් මඟින් කොට්ඨාසයේ ජල අවශ්‍යතා වැඩි ප්‍රමාණයක් සපුරාලනු ලබයි. මෙම සියළු ජල ප්‍රභවයන් කොට්ඨාසයේ ජල  සංරක්ෂණය සඳහා  සපයනුයේ විශාල  සේවාවකි.

ඓතිහාසික පසුබිම :-

අතීතයේ රාජධානි හතරක් පැවති කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල මැතිවරණ බල ප්‍රදේශයට අයත් ඉබ්බාගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය මධ්‍යම පළාතට යාබදව පිහිටා ඇත. ඉබ්බාගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ  ඓතිහාසික වශයෙන් වැදගත් මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු සාධක රාශියකින් ද, වෙහෙර විහාරස්ථාන හා අනෙකුත් ඓතිහාසික ස්ථාන වන පුරාණ දේවාල, පුරාණ සෙල් ලිපි වැනි වටිනා ස්ථාන හා වස්තූන් රාශියක් ද දක්නට ලැබේ. තවද ප්‍රදේශයේ කෙත සරු කරන ප්‍රධාන හා ඓතිහාසික වාරි ජල සැපයුම් පද්ධති වන දකුණු මායිමේ පිහිටි බතලගොඩ වැව සහ ඉබ්බාගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වයඹ දිශානුගතව පිහිටි කිඹුල්වානාඔය ජලාශය කොට්ඨාසයේ අභිමානය හා ‍ප්‍රෞඩත්වය දනවන මහා ධන සම්පත් වේ. ඊට අමතරව ඉහත මහා වාරි කර්මාන්ත දෙකෙන් පෝෂිත හා අහස් දියෙන් ජලය රැස්කර බෙදාහරින කුඩා වැව් අමුණු 254 ක් (කුඩා වැව් - 177 අමුණු  - 17 ) මඟින් ද, ප්‍රදේශයේ ‍කෙත් වතු සරු කරති. එමෙන්ම දුඹුරු පැහැ මිශ්‍ර පස, කොට්ඨාසය පුරා පැතිරී ඇති තෙත් හා වියළි දේශගුණික කලාප, වර්ෂය පුරා පවතින කෘෂිකර්මාන්තයට හිතකර කාලගුණික රටාව ද ප්‍රදේශයට මහත් ආශිර්වාදයකි. ප්‍රදේශය පුරා පවතින කළුගල් නිධි ඉදිකිරීම් කර්මාන්ත සඳහා ද, විශේෂයෙන් රාගෙදර මිනිරන් නිධිය ඒ ආශ්‍රිත වාණිජ කර්මාන්ත සඳහා ද, ඇතැම් ස්ථාන වල දක්නට ලැබෙන මැටි සහිත පස ගඩොල් , වළං හා  උළු කර්මාන්තය  සඳහා ද ප්‍රයෝජනයට ගනී. 

ඉබ්බාගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ඓතිහාසික වැදගත්කම ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිව යන අතර ඉහතින් සඳහන් කළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති ප්‍රධාන රාජධානි හතරට අමතරව බුදලත්ථලි නම් උප රාජධානියක් ඉබ්බාගමුවේ බතලගොඩ වැව ආශ්‍රිතව පිහිටා තිබූ බව ඉතිහාසයේ සඳහන් වේ. අතිතයේ බතලගොඩ ප්‍රදේශය මංගලපුරය ලෙස හඳුන්වා ඇති බවට මහා වංශයේ සඳහන් වන අතර, ඒ නිසාම බතලගොඩ වැව අවට ප්‍රදේශයට ඓතිහාසික වැදගත්කමක් ලැබී ඇත.  මෙම වැව මුලින්ම ඉදි කරන ලද්දේ පළමුවන පැරකුම් රජුගේ අමාත්‍යවරයෙකු වූ බුදලත්ථලි විසින් බවට මතයක් ඇත. එම අමාත්‍යවරයා විසින් දැදුරු ඔය හරස්කර අමුණක් බැඳ වේල්ලක් ඔස්සේ ලබා ගත් ජලයෙන් වැව පිර වූ බව ඉතිහාසයේ සඳහන් වේ. ඒ අනුව පසුකාලයේ දී මේ වැව “බුදලත්ථලවාපි” වශයෙන්ද මෙම ප්‍රදේශය “බුදලත්ථලි” වශයෙන්ද හැඳින්වු බවට මතයක් ඇත. 

එය කෙසේ වුවත්,පසුකාලීනව කල්‍යාණවති රැජිණ (ක්‍රි.ව.1202-1208) විසින් බතලගොඩ වැව ප්‍රතිසංස්කරණය කළ බව ඉතිහාසයේ සඳහන් වේ. වැවේ සොරොව්ව අසල ඇති සෙල් ලිපියෙන් මෙම තොරතුරු සනාථ වන අතර, කල්‍යාණවති රැජිණ විසින් මෙම සෙල්ලිපිය  සියලු දෙනාගේම දැන ගැනීම පිණිස සකසන ලදැයි සඳහන් වේ. සෙල්ලිපියට අනුව වැව සහ වැව් බැම්ම, වැවේ සොරොව්ව සහ වැව් රක්ෂිතය සියලු දෙනා විසින් ආරක්ෂා කළ යුතුය. මින් පසුව බ්‍රිතාන්‍ය යුගයේ දී (ක්‍රි. ව. 1894 දී) ප්‍රකට ඉංශ්‍රීසි ජාතික ඉංජිනේරුවරයෙකු වූ හෙන්රි පාකර් මැතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ද  බතලගොඩ වැවේ මහ පරිමාණ ප්‍රතිසංස්කරණයන් සිදු කර ඇත. මෙම ප්‍රතිසංස්කරණයන් විද්‍යාමාන වන ඉබ්බාගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 515-පෙරියකඩුනැලව ග්‍රාම සේවා වසමේ දක්නට ලැබෙන ගල විදා සාදා තිබෙන දෝනාව ප්‍රබල සාක්ෂියක් වන අතර මෙම දිය දෝනාව පාකර් මැතිතුමාගේ ඉංජිනේරුමය දැනුම හා ප්‍රවීණතාවය පිළිබඳ මොනවට විදහා දක්වන විශ්මිත නිර්මාණයකි.

දුටුගැමුණු රජු දවස කරවන ලදැයි සැලකෙන සංගමුව රජමහා විහාරයද මෙම ප්‍රදේශයට ඓතිහාසික වැදගත්කමක් ලබා‍දේ. දකුණු අසියාවේ පළමු යුධ ගිවිසුම දක්නට ඇත්තේ මෙම විහාරස්ථානයේය. මෙය ක්‍රි.ව. 1153-1186 කාලයේ රජකල පරාක්‍රමබාහු රජතුමා හා ක්‍රි. ව. 1132-1153 කාලයේ රජකල දෙවන ගජබා රජතුමා අතර ඇති වු සටන් විරාමයක ප්‍රතිඵලයක් බව සංගමු සෙල් ලිපියේ සඳහන්ව ඇත. එමෙන්ම ලක්දිව අවසන් රහතන් වහන්සේ වන මලියදේව රහතන් වහන්සේ මෙම සංගමුව විහාරයේ වැඩ විසු බව ජනප්‍රවාදයේ පවති. මෙහි දක්නට ඇති කටාරම් සහිත ගල් ලෙන් 13, මුල්යුගයට අයත් සඳකඩ පහන, මුරගල යුපස්ථම්භය මෙහි දක්නට ඇත. ඒ අනුව රජය විසින් සංගමු විහාරය පුරා විද්‍යාත්මක ස්ථානයන් වශයෙන් නම් කර ඇත. 

ශ්‍රී බුද්ධ වර්ෂ 236 (ක්‍රි.ව.191) දෙවනපෑතිස් රජු දවස බෝධිගුප්ත නම් කුමරුන් විසින් මයුරාවතී කුමරිය සරණපාවා කරගෙන එකල වත්මන් උතුරුපව්ව විහාරභූමිය රජමාලිගය කරගෙන හොඳින් රාජ්‍ය පාලනය ගෙනගොස් ඇති බවට ඉතිහාසයේ සඳහන් වේ. පසුව එම ස්ථානයේ දෙවියන්ට යාගහෝම කිරීම සඳහා ස්ථානයක් ද, අනතුරුව එම ස්ථානයේ  තිබෙන අඩි 120ක් දිග ගල්ලෙනෙහි  18 රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ද නිර්මාණය කර ඇත. විහාර භූමිට‍ උතුරු දෙසින් මෙම ලෙන පිහිටි නිසා මෙම විහාරභූමි ප්‍රදේශයට උතුරු පව්ව යනුවෙන් නම් යෙදී ඇත. 

එමෙන්ම, අද වන විට අවුරුදු දෙදහසක් පමණ පැරණි යයි සැලකෙන දුටුගැමුණු රජතුමා විසින් කරවන ලදැයි ප්‍රකට උස්සාව රජමහා විහාරය ද ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඓතිහාසික වැදගත්කමක් ලබා දෙන විහාරස්ථානයකි. ක්‍රි. ව. 2-3 වන සියවස්වලට අයත් යැයි අනුමාන කරන ඓතිහාසාක උස්සාව  ශ්‍රී නාගල රජමහ විහාරය මැල්සිරිපුර මඩහපොල මාර්ගයේ 4 වන කි.මි. කණුව අසල පිහි‍ටි ඉතා රමණීය තැනිතලා භූමිභාගයක පිහිටා ඇති පෞරාණික විහාරස්ථානයකි. හුණුගලින් නිම වූ දරණ සහිත නාග රූපයක් විහාර මළුවේ දක්නට තිබේන නිසා “නාගල විහාරය” නමින් මෙම විහාරස්ථානය ප්‍රකට  වී ඇත. තවද, මෙහි පෝය සීමාමාලකය, ශිලා ලේඛන, ගල්කණු, කයියෝරු, සඳකඩ පහන ආදී පුරාවිද්‍යාත්මක නටඹුන්  රාශියක් දක්නට ඇත. දැනට ප්‍රතිසංස්කරණය කර නිමවා ඇති චෛත්‍යය රාජයානන් වහන්සේ අනුරාධපුර යුගයේ දුටුගැමුණු රජ දවස කළ බවත්, ශක වර්ෂ 1727 දී උස්සාව රජමහා විහාරය සිංහලයේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ පිළිමතලව්වේ අදිකාරම්ගේ මූලිකත්වයෙන් දළදා මාලිගාවේ තේවාවේ නිරතව සිටි මිල්ලවාන ගුණරත්න හිමි නම‍ට පූජා කළ බවත් මහවෙල පිටිය නමැති ඉඩමට  ලියා ඇති තුඩපතෙහි සඳහන්වේ. තවද විහාරස්ථ චෛත්‍යය රාජයානන් වහන්සේ උස සෑයක් ලෙස ඈත අතීතයේ පැවති බවට සාධක ඇත. ඒ අනුව උස සෑය>උස්සෑය >උස්සාව නම් වී ඇති බව ජනවහරයේ සඳහන්වේ. ඒ නිසාම උස්සෑය පිහිටි ග්‍රාමය උස්සාව නමින් ප්‍රකට වී  ඇත. මෙයට අමතරව පේද්දව ග්‍රාමයේ ඇති සුළුගල් විහාරය තවත්  වටිනා ඓතිහාසික සිද්ධස්ථානයකි. මලියදේව මහ රහතන් වහන්සේ මෙම විහාරයේ ද වැඩ විසු බවට මතයක් ජනප්‍රවාදයේ පවති. 

එමෙන්ම පේද්දව පිහිටා ඇති චූලක ලෙන් විහාරයද  ඓතිහාසික වශයෙන් වැදගත් වන අතර පෙර රජ දවස චූලක නම් අමාත්‍යවරයෙකු මෙහි වාසය කළ බව ඉතිහාසයේ සදහන් වේ.  එසේම ඉබ්බාගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ දොළුව ප්‍රදේශයේ පිහිටා ඇති  රංකිරිමඩ රජමහා විහාරය ද ‍‍ඓතිහාසික වශයෙන් වැදගත් තවත් පූජනීය ස්ථානයකි. අනුරාධපුර මුල් යුගයට අයත් මෙම විහාරය දොළුකන්ද රක්ෂිත වනය ආසන්නව පිහිටා ඇත. 

මෙම විහාරය  බුද්ධදාස රජුගේ පුත්  උපතිස්ස කුමරු විසින් කරවන ලදැයි ඉතිහාසයේ සඳහන් වේ. මෙහි දක්නට ලැබෙන නුවර යුගයේ චිත්‍ර, ප්‍රතිමා, ශෛලමය පහන් කණු, නාග දරණ සහිත මුරගල් ප්‍රදේශයේ ශ්‍රී විභුතිය මැනවින් විදහා පායි.  මෙයට අමතරව අඹන්පොල ප්‍රදේශයේ පිහිටා ඇති නාමල් අංග රජමහා විහාරය ද  ඓතිහාසිකව වැදගත් වන විහාරස්ථානයක් වන අතර ප්‍රදේශයේ පමණක් නොව ලංකාවේ සෙසු සෑම ප්‍රදේශයන්හි ජනතාවගේ ගරු බුහුමන් ලැබිමට ද සමත් වි ඇත. මෙයට අමතරව, කැන්දවල ශ්‍රි විශ්ණු දේවාලය හා කිරිඳිගල්ල ශ්‍රි විශ්ණු දේවාලය ද ප්‍රදේශයේ ඓතිහාසික පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන වේ. 

මෙම වෙහෙර විහාර, වැව් අමුණු වලට අමතරව ඉබ්බාගමුව ප්‍රදේශයේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට රාජ්‍ය  ආයතන රාශියක් ද ව්‍යාප්තව පවති. ඒ අතරින් විද්වතුන්, කලාකරුවන්, ක්‍රීඩකයින්, දේශපාලනඥයින්, ආගමික නායක උතුමන්ලා රැසක් බිහි කළ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. නිදහස් අධ්‍යාපනයේ  පියා වන සි. ඩබ්. ඩබ්. කන්නංගර මැතිඳුන්ගේ සංකල්පයකට අනුව බිහි වු මධ්‍ය විද්‍යාල වලින්  තුන්වන මධ්‍ය විද්‍යාලය, ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය වේ. 1942 පෙබරවාරි මස දෙවන දින ආරම්භ වු මෙම විද්‍යාලය 2012 වන විට වසර 70 ක් සම්පුර්ණ කර ඇත. 1944 වන විට සිසුන් 23 දෙනෙකු හා ගුරුවරුන් 3 දෙනෙකුගෙන් යුත් මෙම මධ්‍ය විද්‍යාලය අද වන විට 147ක් වන ඇදුරු මඩුල්ලකින් හා 2,911 ක සිසු සිසුවියන් පිරිසකගෙන් සමන්විත වේ. විෂය සමගාමි මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් හරහා සිසුන්ගේ දැනුම කුසලතා ආකල්ප දියුණු කරමින් ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය අද වන විට ඉබ්බාගමුවට පමණක් නොව හිරියාලට, කුරුණෑගලට මෙන්ම මුළු රටටම කිර්තියක් ලබා දෙන අධ්‍යාපන ආයතනයක් බවට පත් වි ඇත. 

බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය ද ඉබ්බාගමුව ප්‍රදේශයට ජාතික හා ජාත්‍යන්තරව වටිනාකමක් මෙන්ම ඓතිහාසික වැදගත්කමක් ලබා දෙන ස්ථානයකි. 1952 ආරම්භ වු මෙම ආයතනය  අද වන විට වී වගාවේ ප්‍රභේද දියුණු කරමින් විවිධ පර්යේෂණ කටයුතු කර ගෙනයනු ලබන අතර මේ සදහා බතලගොඩ වැවෙන් යල මහ කන්න දෙක තුලම අඛණ්ඩ ජල සැපයුම ලබා දේ. පැළෑටි සරංක්ෂණ  පර්යේෂණ, පාංශු විද්‍යාත්මක පර්යේෂණ, බීජ වී නිෂ්පාදනය, සමාජ ආර්ථික සැලසුම් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිම, පාසල්, විශ්ව විද්‍යාල හා කෘෂි විද්‍යාල සිසුන් සහ පර්යේෂකයන් පුහුණු කිරීම වැනි කටයුතු ඔස්සේ විශාල මෙහෙයක් කරන වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය රටට සේවය කරන අතරම ජාතික හා ජාත්‍යන්තර වටිනාකමක් ලබා දෙන ආයතනයකි. 

මේ අනුව බලන කළ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය ආගමික, සංස්කෘතික, පුරාවිද්‍යාත්මක, සමාජිය, අධ්‍යාපනික, දේශපාලන, ආර්ථික හා පාරිසරික වශයෙන් ඉහළ තලයකට පත්වී තිබෙන අතර හිරියාලට, කුරුණෑගලට හා සමස්ත දිවයිනට ඉතා ඉහල වටිනාකමක් ඇති ප්‍රාදේශීය පාලන ඒකකයකි. එපමණක් නොව ඉබ්බාගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය මුළු ලොවම මවිත කරවන කීර්තිමක් පරිපාලන බල ප්‍රදේශයකි.

පුවත් සහ සිදුවීම්

Scroll To Top